top of page

ජාතියක් වශයෙන් නවීන ලෝකයට මුහුණ දීමේදී නවීන ක්‍රම සහ ආකල්ප වෙත අප යොමු වීම අවශ්‍යම කරුණක් බව අපි සියලු දෙනා ඉතා හොඳින් තේරුම් ගත යුතුව ඇත. ඒ අනුව මෙම නවීන ක්‍රම සහ සංකල්ප රට තුල ව්‍යාප්ත කල හැකි නව නායකත්වයකින් මුල් වූ නව කණ්ඩායමක අවශ්‍යතාවය අප රටට අවශ්‍ය බව සියලු ලාංකික ජනතාවට තේරුම් ගොස් අවසන්ය.මෙම ක්‍රියාව ආරම්භ කිරීම පිණිස ජාති, ආගම්, කුල, පක්ෂ, ස්ත්‍රී සහ පුරුෂ භේදයකින් තොරව එකතුවන ලෙස සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම  මධ්‍යම පාන්තික ජනතා පක්ෂය වන අපි ආරාධනා කරන්නෙමු.එසේම අප පක්ෂය විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල සහ කරුණු සියල්ල නම්‍යශීලී බැවින් ඒවා නිවැරදි කරන්නට, විවේචනය කරන්නට, සංශෝධනය කරන්නට හා නැවත නැවතත් පුනරීක්ෂණය කරන්නට ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන අදහස් වෙත සවන්දීමට අප සැම විටම කටයුතු කරන්නෙමු. එන්න අප සමග එක්වන්න...........,ඒ මන්ද යත් "අපි හැදෙමු රට හදමු" යන්න අපේ එකම පැතුම නිසාය. 

  • රට තුල ප්‍රජාතන්ත්‍රවාදය  ස්ථාපිත කිරීම 

  • ශ්‍රී ලංකාව තුල පවතින ඍණ ආර්ථිකය ධන ආර්ථිකයක් කරා ගෙනයාම

  • ජාතික ආරක්ෂාවට මුල්තැන දීම සදහා නව ප්‍රතිපත්ති මාලාවක් ස්ථාපනය කිරීම 

  • ජාතික අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දීම සහ කාලෝචිත අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවක් ස්ථාපිත කිරීම.

  • ජාතික සංස්කෘතිය මුල් කරගත් විනය ගරුක සමාජයක් බිහි කිරීම

  • ජාතික සෞඛ්‍ය සේවය දියුණු කිරීමට අවශ්‍ය නව ප්‍රතිපත්ති මාලාවක් ස්ථාපිත කිරීම

රට තුල ප්‍රජාතන්ත්‍රවාදය  ස්ථාපිත කිරීම 

ශ්‍රී ලංකාව තුල සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් යනුවෙන් ජන වර්ග හතරක් ඇති බව අපි සියලු දෙනා ඉතා හොඳින් දන්නා බව නොරහසකි. මේ සෑම දෙනාටම එක සමානව තම තමන්ගේ භාෂාව, ආගම, සංස්කෘතිය නිදහස්ව එක රටක් තුල භුක්ති විඳිය හැකි නිත්‍ය ක්‍රම වේදයක් සකස් කිරීම, ඒ සඳහා නීති සම්පාදනය කර ඒවා ක්‍රියාත්මක කිරීමට සැලැස්වීම "රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම" ලෙස හැඳින්විය හැකිය. එබැවින් සාධාරණ හා සත්‍ය වු රටක් වෙනුවෙන් දැඩිව කැපවූ ප‍්‍රජාතාන්ත‍්‍රික වෙනසක් සහ  අපගේ ජන වර්ගය කුමක් වුවත්  සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තම මුලික මානව අයිතිවාසිකම් සහිතව,තම අදහස් දැක්වීමේ අයිතිය ඇතිව, සියලු දෙනා  සමග සමගියෙන් සිටින රටක් සහතික කිරීම සඳහා අපි නැගී සිටිය යුතුය.මෙසේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ස්ථාපිත කිරීමෙන් ප්‍රධාන ජන වර්ග හතර අතර ගැටුම් ඇති නොවී, එකිනෙකා අතර සමගිය ඇතිවී ඔවුනොවුන්ගේ කුසලතාවයන් සහ දැනුම එකට එකතු කර, ඒකීය රටක් ලෙස ඉදිරියට යාමේදී අප රට දියුණු වීම කිසිවෙකුටත් නතර කල නොහැකිය.

ජාතික ආරක්ෂාවට මුල්තැන දීම සදහා නව ප්‍රතිපත්ති මාලාවක් ස්ථාපනය කිරීම  

රටක ජාතික ආරක්ෂාව අති විශේෂ වන අතර, වර්ථමානයේ පවතිනු ලබන ජාතික ආරක්ෂක ක්‍රමවේද තුල ඇති වී තිබෙන තත්ත්වය පිළිබදව පුළුල් අධ්‍යයනයක නිරතවී සොයාගන්නා ලද කරුණු සහ ජාත්‍යන්තරය විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් උපයෝගී කරගෙන ඇති නව ක්‍රම සහ උපාය මාර්ගයන්ද  සැලකිල්ලට ගත් කල, අප රට තුල ඇති ජාතික ආරක්ෂාව යම් දුරකට සාර්ථකව තිබුනත්, අප රටට නව  ජාතික ආරක්ෂක වැඩ පිළිවෙලක් අවශ්‍ය වී ඇති බව අප පක්ෂයේ මතයයි. වර්තමානයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ නොයෙකුත් ආකාරයේ අවදානම් වලට ලක්වෙමින් සිටින බව අප සියලු දෙනා ඉතා හොදින් දන්නා කරුණක් වන අතර අප ලක් මාතාව ආරක්ෂා කිරීමට ඇප කැප වීම අප කාගේත් යුතුකම වේ. ගුවනින්, සාගරයෙන් සහ ගොඩබිමෙන් අප රටේ ආරක්ෂාව තර කර තිබිය යුතු  අතර, ජාත්‍යන්තරයට අවනත වී ජාත්‍යන්තරයේ සහයෝගය ඇතිව අපිට ආවේනික ක්‍රමවේදයක් තුලින් අප රටේ ජාතික ආරක්ෂාව සැලසිය යුතු වන අතර ඒ සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් ස්ථාපිත කිරීම ඉතා වැදගත්ය. එසේම ආරක්ෂක ඇමතිකම එක් අයෙකුට පමණක් සීමා වී එමගින් එක් අයෙකුගේ අණ තුලින් ජාතික ආරක්ෂාව ක්‍රියාත්මක වීම යම් අවස්ථාවන් වල වාසි සහගත වන අතර බොහෝ අවස්ථා වල එය අවාසි සහගත වේ. එබැවින් ජාතික ආරක්ෂක මණ්ඩලයක් මගින් ජාතික ආරක්ෂාව මෙහෙයවීම ඉතා වැදගත් වන බව  සහ සාර්ථක වන බව අපේ දැක්ම වේ.  

ශ්‍රී ලංකාව තුල පවතින ඍණ ආර්ථිකය ධන ආර්ථිකයක් කරා ගෙනයාම 

1948 වසරේ අපේ රටට නිදහස ලැබීමෙන් පසුව අපේ රටේ ආර්ථිකය ගොඩ නැගීම, කලින් කලට මෙම රට පාලනය කල සහ දැනට පාලනය කරන පාලකයින් විසින් සිදු කරගෙන පැමිණ ඇති අතර දැනටත් සිදු කරමින් පවතී. අපි දන්නා දා පටන් අපි දුප්පත් රටක්, අපි තුන්වන ලෝකයේ දියුණු වෙන රටක් කියා ඇසෙනවා මිස අපි පොහොසත් රටක්, අපි දියුණු වුනු රටක් කියා අපිට ඇසී නැත.එසේනම් අපි දුප්පත් වුයේ කාගේ වරදින්ද? ඒකට හේතුව කුමක්ද කියා සොයා බලා එම  හේතු වලට විසඳුම් සෙවීම කලයුතු වේ. වරද කාගේ වුවත් ඒවාට දොස් පවරා එකිනෙකා කෙරෙහි වරද පටවා සිටීමෙන් කිසිම පලක් නැති අතර එයින් සිදු වන්නේ අප රටේ ආර්ථිකය තව තවත් කඩාවැටීම පමණි. එසේනම් මේ සඳහා ඇති අපේ දැක්ම කුමක්ද? ඍණ ආර්ථිකයෙන් ධන ආර්ථිකයකට යාමේදී අපි අපේ රටේ ඇති අය  සහ වැය ගැන ඉතා සරලව සිතා බැලිය යුතුය. ඒ අනුව අපේ "අය" දේශීය සහ විදේශීය වශයෙනුත් අපේ "වැය"  දේශීය සහ විදේශීය වශයෙනුත් බෙදා වෙන් කර ගත යුතු වන අතර "අය" වැඩි කර ගන්නා ගමන් "වැය" අඩු කර ගත යුතුය. අපේ "අය" වැඩි කර ගැනීමේදී රාජ්‍ය අදායම දැනට තියෙන ක්‍රමයට වඩා වැඩි විය යුතු අතර එමගින් මහජනතාවට අපහසුතාවයක් නොවිය යුතුය. රාජ්‍ය අදායම් ලැබෙන ප්‍රධාන මාර්ග අතරට ආදායම් බදු දෙපාර්තමේන්තුව,රේගුව,ආගමන හා විගමන දෙපාර්තමේන්තුව,මෝටර් රථ දෙපාර්තමේන්තුව,පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව,මැණික් සංස්ථාව, ගුවන්තොටුපල සහ වරාය, ආදී ආයතන වලින් ලැබෙන ආදායම වැඩි කර ගැනීමේ නව ක්‍රම සකස් කල යුතුය. එසේම අපේ රටේ වැය අඩු කර ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණක් වන අතර එයින් රාජ්‍ය වියදම අඩු කර ගැනීම ගැන නව ක්‍රමවේදයක් සකස් කල යුතුව ඇත.ඒ අනුව වැඩි අවධානයක් දිය යුතු වන්නේ රටේ ප්‍රධානියාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා දක්වා දැනට ලබාදෙන දීමනා සීමා කර ඔවුන්ගේ අනවශ්‍ය වියදම් කපා හැරීමය. රාජ්‍ය මුදල් අවභාවිතාව සම්පුර්ණයෙන් නතර කිරීම සහ සියලු අමාත්‍යංශ වලට වෙන් කරන මුදල් වියදම් කිරීමේදී මුදල් මණ්ඩලයක් හරහා ඒවා  සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීම ආදිය අපේ රට ධන ආර්ථිකයක් කරා ගෙන යාමේදී අතිශයින් වැදගත් වන කරුණු ලෙස අපට සඳහන් කල හැකිය.

ජාතික අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දීම සහ කාලෝචිත අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවක් ස්ථාපිත කිරීම.  

රටක ජාතික අධ්‍යාපනය සකස් වියයුත්තේ එම රටේ අනන්‍යතාවය මත පදනම් කරගෙන සහ වර්තමාන,අනාගත ගෝලීයකරණ පරිසරය තුලට පහසුවෙන් පිවිසීමට හැකි වන පරිදි බව අපි කවුරුත් තේරුම් ගත යුතුව ඇත. ඒ අනුව පළමුවෙන්ම අපගේ අධ්‍යාපන ක්‍රමය සංශෝධනය විය යුතු වන අතර අධ්‍යාපනයට වාර්ෂිකව වෙන් වෙන මුදල දැනට වෙන් කරන මුදලට වඩා වැඩි විය යුතු වේ. අධ්‍යාපන අමාත්‍යාංශය,අධ්‍යාපන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන සේවා කොමිසන් සභාව යන ආයතන වලට අමතරව "අධ්‍යාපන සංවර්ධන මණ්ඩලය" වශයෙන් විද්වත් මණ්ඩලයකින් සමන්විත කණ්ඩායමක් පිහිටුවිය යුතුය. මෙම පාලන ක්‍රමය මගින්  සියලුම පාසල් වලට අවශ්‍ය යටිතල පහසුකම් එකසේ සංවර්ධනය කල හැකි වන අතර එමගින් නගරබද පාසැල් සහ ප්‍රසිද්ධ පාසැල් වලට ඇති තදබදය ඉවත්වනු ඇත. පාසැල් යන වයසේ සිටිනා (අවුරුදු 5ත් 16ත් අතර) සියලු ළමයින් පාසැල් යා යුතු බවට නීතියක් සකස් කල යුතුය. එසේම සියලු පාසැල් ගුරුවරුන්ගේ වැටුප ඔවුනොවුන්ගේ සුදුසුකම් මත වෙනස් විය යුතු වන අතර සියලු ගුරුවරුන්ට සිත් ගන්න වැටුපක් ගෙවිය යුතු බව අපේ දැක්ම වේ.එසේ වන අතර සියලු ගුරුවරුන්ට පුහුණු වැඩසටහන් කලින් කලට ක්‍රියාත්මක කර ඔවුන් ඒ සඳහා යොමු කර එමගින් ශිෂ්‍යයන්ට වඩා ඵලදායී අධ්‍යාපනයක් ලබා දීම කල යුතු වේ. එසේම සියලු පාසැල්වල සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කල යුතු අතර ගැහැණු ශිෂ්‍යාවන් සඳහා රූපලාවන්‍ය ශිල්පය,ගෘහ විද්‍යාව සහ අත්කම් නිෂ්පාදන ශිල්පය තාක්ෂණ විෂය සඳහා අනිවාර්ය කලයුතු අතර පිරිමි ශිෂ්‍යයින් සඳහා වඩු කාර්මික, මෝටර් කාර්මික, කෘෂි කාර්මික සහ විදුලි කාර්මික ශිල්පය තාක්ෂනය සඳහා අනිවාර්ය කල යුතුය. මේ අතර සියලු පාසැල් ළමයින් හට ශාරීරික අභ්‍යාස, ක්‍රීඩා සහ ආත්මාරක්ෂක සටන් ක්‍රම පිළිබඳව අමතර ඉගැන්වීම් ලෙස ක්‍රම සකස් කල යුතු වේ. එසේම පළාත් මට්ටමින් විශ්ව විද්‍යාල ආරම්භ කර සියලු විශ්ව විද්‍යාල ශිෂයන්හට සිය උපාදිය හදාරන කාල සීමාව තුලදී සිය ශිෂ්‍ය සංගම් තුලින් කිසිදු දේශපාලන පක්ෂයක නියෝජනයක්  හෝ කිසිදු කඩා කප්පල්කාරී ක්‍රියාවන් වල  නිරත වීම අහෝසි කල යුතු අතර නවක වදය වැනි කෲර ක්‍රියාවන් සහමුලින්ම නතර කල යුතුය.

ජාතික සංස්කෘතිය මුල් කරගත් විනය ගරුක සමාජයක් බිහි කිරීම

සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් යනුවෙන් ප්‍රධාන ජන වර්ග හතරක් ජීවත් වන අප රටේ ඔවුනොවුන්ට ආවේනික වූ භාෂාවන් සහ සංස්කෘතීන් ඇති නමුත්  අපි සෑම දෙනාම ශ්‍රී ලාංකිකයින් බව අමතක නොකළ යුතුය. අප ශ්‍රී ලාංකික අනන්‍යතාවය මුල් කරගෙන දියුණු රටක රට වැසියන් ලෙස ලෝකය ඉදිරියට යා යුතු බව අදිටන් කරගෙන කටයුතු කිරීම ඉතා වැදගත් බව අපේ දැක්ම වේ. යම් රටක් දියුණුව කරා ගමන් කිරීමේදී ඒ රටේ විනය අතිශය වැදගත් වන සාධකයක් බව අපේ මතය වන අතර ලෝකයේ දියුණු රටවල අපිට වඩා වැඩි විනයක් ඇති බව,එම රටවල සංචාරය කර ඇති සෑම කෙනෙකුම ඉතා හොඳින් දන්නා කරුණක් වේ. එම නිසා තම තමන්ට ආවේණික වූ කුමන සංස්කෘතීන් තිබුනත්, අපි සියලු දෙනා එකම විනයකට යටත්ව විනය ගරුක විය යුතු වේ. විනය ගරුක සමාජයක් බිහි කිරීමේදී පළමුවෙන්ම උගත්-නුගත්, දුප්පත්-පොහොසත්, බාල-මහලු, ස්ත්‍රී-පුරුෂ ආදියෙන් කෙනෙක් තව කෙනෙකු පහත් කොට සැලකීම තම මනසින් ඉවත් කර ගත යුතු අතර එය ඔබ ඔබේ පවුලෙන් ආරම්භ කර,ගමෙන්, නගරයෙන් සහ මුළු රට පුරා එය ව්‍යාප්ත කල යුතුය. එමගින් විනය ගරුක සමාජයක් බිහි කිරීමේ පළමු වෙනි අදියර ආරම්භ වනු ඇති අතර ඔබ තුල, ඔබේ පවුල තුල, ඔබේ ගම තුල, ඔබේ නගරය තුල සහ මුළු රට තුලම විනයක් ඇති වන බව නොඅනුමානය. එසේම අන් අය‍ට ඇගිල්ල දිගු කරමින් ඔවුන්ට කිසිම විනයක් නැහැ කියා කෑමොර ගැසීම, හුදෙක් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණවල් ඉෂ්ඨ සිද්ධ කරගැනීම විනා අන් කිසිවක් ඒ තුල නොමැති බව අපගේ මතය වේ.  

ජාතික සෞඛ්‍ය සේවය දියුණු කිරීමට අවශ්‍ය නව ප්‍රතිපත්ති මාලාවක් ස්ථාපිත කිරීම

රටක ප්‍රධානතම සේවාවක් වන ජාතික සෞඛ්‍ය සේවය දියුණු වී තිබීම එම රටේ දියුණුව පෙන්නුම් කෙරෙන සේවාවන් අතර ප්‍රධානතම සේවාව වේ. දැනට අප රට
සෞඛ්‍ය සේවය දියුණු කිරීම වෙනුවෙන් වෙන් කරන මුදල ඉතා අඩු මුදලක් වන අතර එය මෙයිට වඩා වැඩි විය යුතුය. එසේ වැඩි කිරීමට අවශ්‍ය මුදල් රජය තුල නොමැතිනම්, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය කල හැකි ලාභ ලැබෙන ව්‍යාපෘතීන් වන දේශීය සහ විදේශීය සිසුන්හට මුදල් ගෙවා උපාධිය හැදෑරිය හැකි   වෛද්‍ය විශ්ව විද්‍යාල,හෙද විදුහල් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පාන නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කර  ඒ මගින් ලැබෙන ආදායම ජාතික සෞඛ්‍ය සේවයට යොදවා රටේ සියලු පළාත් ආවරණය වන පරිදි ජාතික සෞඛ්‍ය සේවය දියුණු කල යුතු අතර මෙම වැඩ පිළිවෙල සාර්ථකව කර ගැනීමට ජාතික සෞඛ්‍ය සේවා මණ්ඩලයක් ස්ථාපිත කිරීම තුලින් මෙම සේවාවේ පවතින අක්‍රමිකතාවයන් සීමා කර ගත හැකිය. ජාතික සෞඛ්‍ය සේවාව දියුණු කිරීමේදී, ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය ගැන වඩා සැලකිලිමත් විය යුතු අතර,දැනට නගරබදව පවතින ප්‍රධාන රෝහල් වල ඇති පහසුකම් වලින් කොටසක් හෝ ග්‍රාමීය රෝහල් වලට ලබා දිය යුතුය. එසේම අප රටේ පාරම්පරික දායාදයක්ව පවතින ආයුර්වේද වෙදකම මෙයිට වඩා වැඩි දියුණු කර එමගින් වස විස නැති ආහාර පාන සහ බෙහෙත් වර්ග මිනිසුන්ට පුරුදු කර නීරෝගීව සිටීමට සියලු රට වැසියන්ව පුරුදු කල යුතුවේ.ජාතික සෞඛ්‍ය සේවයෙහි සේවය කරන සියලු සේවක සේවිකාවන්හට දැනට ගෙවන වැටුපට වඩා වැඩි වැටුපක් සහ දීමනා වැඩි කර ඔවුන්ව පුද්ගලික සේවයෙන් ඉවත් කල යුතුය. දැනට ජාතික සෞඛ්‍ය සේවාව තුල කරගෙන යන ඉදිකිරීම්, පිරිසිදු කිරීම්, සහ පවත්වාගෙන යෑම් ආදිය පුද්ගලික අංශයට භාර දිය යුතු බව අපේ දැක්ම වේ

bottom of page